(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක රැදී සිටි අඹුසැමි යුවලක් අද (03) අලුයම විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ කටුගස්තොට මතුවල ප්‍රදේශයේ පදිංචි මංජුල රණතුංග දොඩම්තැන්න නැමති 56 හැවිරිදි නැවක කපිතාන්වරයෙකු සහ ඔහුගේ බිරිද වන වනිගසිංහ මුදියන්සේලාගේ දිලූකා කුමාරි වනිගසිංහ නැමති 49 හැවිරිදි බැලුම්ගහතැන්න දොඩංඕවිට ප්‍ර දේශයේ පදිංචිකරිණියකි.

අඹුසැමි යුවල නුවරඑළිය මීපිලිමාන මිහිදුපුර ප්‍රදේශයේ ඉදි කරන සංචාරක නිකේතනයක ඉදිකිරිම් කටයුතු සිදු කරන බවත්, එම සංචාරක නිකේතනය ඉදි කරන තෙක් ඒ අසළම තාවකාලිකව කුලී පදනම මත නිවසක් ලබා ගෙන එහි රැදී සිටි ඇති බවයි සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින අධික සීතලත් සමග බාබිකිව් උදුණුක ගිනි මොළවා ගෙන කාමරයේ තබා ගනිමින් එම යුවල නින්දට ගොස් ඇති බවත්, අද අලුයම එම අඹුසැමි යුවලගේ දුරකථනවලට ඥාතීන් ඇමතුම් ලබා ගෙන ඇතත්, එම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඥාතීන් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිළධාරිවරයාට ඒ බව දැනුම් දීමෙන් පසු ග්‍රාමසේවා නිළධාරිවරයා එම නිවසට ගොස් පරික්ෂා කිරිමේදි දෙදෙනා මිය ගොස් ඇති බවට සැළවීමත් සමග ග්‍රාම සේවා නිළධාරිවරයා විසින් ඒ බව නානුඔය පොලිසිය වෙත දැනුම් දී ඇත.

අඹුසැමි යුවල මීට දින 3කට ප්‍රථම නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇත.

අඹුසැමි යුවලගේ සිරුර සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවක් කල නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේත්‍රාත් විජය වික්‍රම මහතා සිරුරු පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කලහ.